කඩුපුල් මලේ ජාතක කතාව -අමාගේ වර්ශන් එක

ඒ හීතල රෑ වවුල් පැටියෙක්ට වුනත් හීන දකින්න ආස හිතෙන තරම් ලස්සන රැයක්...කණාමැදිරියෙක් වුනත් එළි නිවාගෙන හඳ දිහායි තරු දිහායි විතරක් බලන් ඉන්න තරමට ලස්සන රැයක්...හරියටම විශ්වයේ නාභිය තිබ්බේ අමාගේ ගෙදර පොල් අතු සෙවිලි කරපු වහලයකින් හෙවන වුනු කාමරේක්..ගෙයක් කිව්වට අපිට ඒක පැල්පතක්... අපිට ඒක පැල්පතක් වුනාට ඒක අමාගේ ගෙදර...අමාගේ කාමරේ විශ්වයේ වෙන්න පුළුවන් ලොකුම ව්‍යපර්යාසය වෙන බව අමාවත් දැනගෙන හිටියේ නැහැ...දෙවියන්වහන්සේත් අන්දමන්ද  වෙන තරමට අමා හිටියේ හිතිවිලි වලින් තෙත් වෙලා...කාමය ආසාව එක්ක දුක සිනහව වගේම සතුටත් අමාගේ හැම ස්නායුවක්ම කම්පනය කරනමින් තිබුනා...අහසේ හත්දින්නත් තරු රටාව ඒ මොහොතෙම එක තරුවක් අහසින් බිමට තල්ලු කලේ මෙන්න මේ වෙලාවේ...තරුවකට කොහෙද ස්ත්‍රී පුරුශ බවක්...තරුව ආවෙ හරියට සීත කාලෙට හිම පියල්ලක් නැළවි නැළවි එන තාලෙට...අමාට ඕනි වුනේ සිතුවිලි වේල ගන්න...කාමය රාගය වගේ හිතුවිලි ගිනි වතුර වගේ අමාව පුළුස්සලා තිබ්බේ පිළිස්සුම් කැළලක් වත් ඉතිරි නොවෙන තරමට දරුණු විදිහට...අමාට ලෙහෙසියෙන්ම පුපුරල යන්න තිබුනා...පුපුරලා ගිහින් සුලඟත් එක්ක සදාකාලික වෙන්න...එහෙම වුනා නම් අදටත් අමා අපේ පෙනහළු ගර්ත වලට ගිහින් රුධිර කේෂනාලිකා වලට ගතු කියාවි...ඒත් අමා කලේ සිය දහස් වරක් පවිත්‍ර ආත්මිය ශාන්තියෙන් හැම සෛලයක්ම දෝවනය කරපු එක...හැම සෛලයක්ම තෙත් නොවී වියළිලා ගියා...හරියට ඕඩිකොළොන් වරුසාවකට අහුවෙච්ච පින්නක් වගේ...ශාන්තිය අමාට පහසුවක් සැළසුවා..ඒ වෙලාවේ තරුව දැක්කේ පොල් අතු වහලෙන් සෙවිල්ලපු කාමරේ ඉන්න අමාව.....තරු    වලට විශ්වය විනිවිද දකින්න පුළුවන්...තරුව බොහොම සීරුවට පොල් අතු අස්සෙන් අමා ලඟට ඇවිත් මෙහෙම ඇහුවා..
"ඔයාට ගර්භාශයක් තියෙනවද?"
"ඔව් හැබැයි මම කන්‍යාවක් නෙමෙයි...මට දෙවියන් නිසා ගැබ් ගන්න නම් බැහැ"
දෙවියන් නිසා ගැබ් ගන්න...?මට තාමත් පුදුමයි අමා කොහොමද ගැබක් ගැන හිතුවේ තරුව දැකලා...තරුව ශුක්‍රාණුවක් වගේ දෙයක් වෙන්න ඇති කියලා  මට දැන් නම් හිතෙනවා ...
"මම ඉල්ලා හිටින්නේ ටික දවසකට මට ඔබේ ගර්භාශය දෙන්න...මට ඕනි මාස දහයක්. නවාතැන් ගන්න."
"නවාතැන් ගන්න ඇවිත්..හැබැයි මේ ගර්භාශේ මීට කලියෙන් දෙන්නෙක් ඉඳුල්  කරලා තියෙනවා..එයාලගේ මතක ගර්භාශ බිත්තියේ ඇලවිලා දළු දානවා...ඔයාට පොරොන්දු වෙන්න පුළුවන්ද ඒ මතක මරන්නේ නැහැ කියලා"
තරුව මුකුත් නොකියාම යෝනිය දිගේ ගැබට ඇතුළු වුනා...දේව දූතියෙක් නාව බව ඇත්ත..ඒත් ඇය ගැබ්බර වුනා..කලින් අවජාතක කළළ දෙකකට ඉඩ නොදුන්නු අමා තරුවකට ඉඩ දුන්නු එකම හරි පුදුමයි...සමහරවිට පියෙක්ගේ සළකුණුක් නැතිව තිබිච්ච නිසා වෙන්න ඇති...මාස ගෙවිලා ගියා..තරු පායනවා බහිනවා වගේම ඉර හඳත් පායනවා බහිනවා...කාලේ කියන්නේ නොනවත්වාම ඉර බැහීම නැගීමද මන්දා...අමාට විළිරුදා දැනුනා... තුනටිය පස්සේ තුනටිය දිගේ එන විදුලිය කොදුඇටපෙළ ගිගිරුවා...හරියටම  ඉර මැදියම් රැයේ අමා ප්‍රසූතියක් කලා..ඒ ප්‍රසූතියෙන් ඉපදුනේ මාංසල පත් තියෙන  කඩුපුල් ගහක්..ඔව් මටත් විස්වාස කරන්න අමාරු වුනා...ඒත් ඒක ඇත්තක්...බොරුවක් කියලා නොහිතන තාක්කල් ඇත්තක්...,කඩුපුල් ගහ  ඉපදෙන කොටම මල්වර වෙලා ඉපදුනේ...එයා මහපොළවට මුල් ඇදලා පැළ වුනා...මෙහෙමලු කඩුපුල් මල් ලෝකයට ඇති වුනේ...කාට හරි මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න ඕනි වුනොත් අමාගෙන් අහන්න...මම නෙමෙයි හොදේ මේ අමා... අමාව හම්බවෙන්න ඕනි නම් ආත්මය පිරිසිඳු වෙන්න ඕනිලු...

Comments

Post a Comment

Popular Posts