ඉතිරි කර,මැකෙන අඩි සළකුණු

ප්‍රමාද වී පැමිණි නින්දක,
සද්දයක් නොනැගෙන්න, අඩි තියා පැමිණි,
අඩක් අඩවන් කවුළුවෙන් එබුනු,
කණාමැදිරි මැදිරියක තනි වුන,
හිරිවැටුන සිහිනයකි,නුඹ
 පෙම්වත.


අව්වටම කරකුට්ටං වෙලා ගිය,
වීදියේ නිතර පෑගෙන මුල්ලක,
දාඩියෙන් තෙමුණු තැන් වල,
ලේ, කඳුළු මත ඇලුනු කවියක,
පද අතර වචන නැති හිස්තැන,
නුඹ ,
පෙම්බරිය.




හිත රිදෙනකොට පපුවෙ රිදෙන තැන,
උස් පහත් වෙන, හුස්ම වැටෙන නැගිටින තැන,
සඳ වකක් මෙන් ගුලිව,වකුටුව,
නියපොතු වලින් අතීතය,
සූරන,නුඹ,
පෙම්වත.


මේ වළාකුළු ගහන අහස යට,
අපි අපේ හීන සළු ලිහා යමු,
මුහුදට මුහුණලා තියෙන,කොන්ක්‍රීට් බැම්ම උඩ,


අරමුණක් නැතිව,
ඇවිද යමු,
තෙත් වෙරළ මත,
ඉතිරි කර,මැකෙන අඩි සළකුණු

Comments

Popular Posts