ඉන්දියන් වහලිය කොලෝසියම් බිම මත ඇද වැටී නිසල වෙයි

(  මේ ක්ෂීණ සඳ ඇවිලෙනා,තප්පරත් හරියටම කාලක්,
මම තනිව කොලෝසියම අසල සිට,හිස සුන් පිළිරුවකින් වාරුවක් ගෙන. )


නීරෝගේ වීනාවේ සුසර සුන් තතකින් ඇද වැටුණ,
වයින් කුසළානයක පතුළට  ගලක් බැඳ තල්ලු කර අතැර,
හදගැස්ම කටගැස්ම දීසියක අහම්බෙන් චප්ප වුන සිහිනයක,
සොයා නුඹ දා වැගිරුවෙමි හත් මුහුදු රැලි'තර,
මමයි රාමා පෙරදිගින් ප්‍රේමයම ගෙන ආපු,
මධ්‍යධරණිය හදවතක කෙම් බිමක් සොයා ආපු!



සින්ධූර් තිලකයක මුදු චන්ද්‍ර හුස්මක්ව  නතරව,
කුරුඳු රස තේ කහට උගුරක ප්‍රේමයම දිය කෙරුව,
බිරුසන් වර්ණ තවරා අහස මත,
මේ පසලොස්වක දාත් සොඳුරිය නුඹ,
හී සරින් සිදුරුවූ හදවතේ පැරණි වණයක රිදෙන කැළලක්ව,
මමයි රාමා!
කුමරියණි යෝනක පුර එකම පෙරදිග සුවඳ හුස්ම,
ලිලී මල් පිපෙන ,සමනලුන් ගැවසෙන තැන් සොයන,
නුඹ ගැන තතු අගිස්සවන,



අසුන් සුන් කර දොර අගුල් ඉස්තාලයත් අද තනිව,
පිදුරු වල තියෙන්නෙත් ගිනියම් කඳුළු වල මූසලම කහ පාට,
සියුස් වීනස් එහෙම නැත්නම් බාගදා ශිව මේ අහස් කුළකට වැඩ හනික,
සොයා දෙනු හැකිද මට කියන්න, ප්‍රේමයේ ඉඳිකටුව ඇයව,
මසාගනු පිණිස හද පටක
ඇය සියතින්ම දෙපළු කළ
පෙර දවස!!




( කොලෝසියම අසල තනිවුන ඕක් ගසක,
නිශ්ශබ්ද විහඟෙකි අත්තක අතරමං වෙලා මෙන් කොඳුරන,
එක පාර ඇසෙන ප්‍රීති ඝෝෂාවක
ඉඩ ලැබුණ තැනකින් රිංගා සෙමෙන් සැලිසැලී ඉකිලන,
ඇගේ ඒ ලසෝ තැවුලද ඇසෙන්නේ කියන් මට,කියන් මට! )







(ඉන්දියන් වහලිය කොලෝසියම් බිම මත ඇද වැටී නිසල වෙයි)

Comments

Popular Posts