මාෂා සන් ඔයා නිදිද?

ඔයා නිදිද මාෂා සන්? ඔයා හොඳටම නිදි නේද?හොඳටම නින්ද ගියාම තමා ඔයා ගොරවන්නේ..ඒ සද්දේ හරියටම උගුරට වතුර උගුරක් දාලා ගොර ගොර කරන කොට එන සද්දේ වගේ..ඔයාට ඇහෙනවද මාෂා සන්...ජපන් හුලඟ කිව්වාට මට දැනෙන්නේ ලංකාවේ සුවඳ..ඔයා ගාව වාරකන් කාලේ මුහුදු පිළී සුවඳයි..ලොම් ගහක් වත් නැති ජපන් පිරිමි පපුව උඩින් ඔළුව තියා ගත්තාම ඒ සුවඳ හොඳටම දැනෙනවා..මාෂා සන් ඔයා මුහුදක්ද කියන්න..ඔයාගේ ඇට මස් ලේ ඔක්කෝම මේ ජපන් මුහුද නේද?මහ මුහුද වගේ රැළි ඔයාගේ මූණේ රැළිත් තියෙනවා...මේ රැළි ආපස්සට  මුහුදට යන්නේ නැහැ..සදාකාලෙටම නැවතිලා ඉන්න රැළි...මම ආස ඇස් ලඟ රැලි හතරට...

මම ඔයාගේ භාර්යාව...බංගලාදේශයේ විශ්ව විද්‍යාලයකදි හම්බවෙච්ච ඔයාගේ අරලිය මල...ඔයා මගේ ප්‍රොෆෙසර්...කොට කහ පාට නෝන්ජල් ප්‍රොෆෙසර්...ඒ ජපානෙට එන්න ඉස්සර..ඒ ඔයා මාව කසාද බඳින්න ඉස්සර...


මාෂා සන් ඔයා අහගෙනද ඉන්නේ..මගේ ගර්භාෂයේ බිත්තියක් තදින් බදාගෙන රාහුලයෙක් හුස්ම ගන්නවා...ඔයා බය වුනාද මාෂා සන්...ඔයාගේ සම්බන්ධයක් නැතිවම, ඔයාගේ කැමැත්තක් නැතිවම ඔයාගේ නොවෙන රාහුලයෙක්ට මගේ ඇඟ ඇතුලේ වැඩෙන්න අරින එකට...රාහුලයත් එක්කම..නෑ රාහුලයා ලැබෙන්න කලින් ඉඳන්ම මට රාහු අපලය වෙන්න ඇති මාෂා සන්..රාහු කියන අපල ඇතිකරන දෙවියන්ට ඔළුවක් නෑ...ඒක නිසා මම ඔළුවෙන් හිතන එක අපලයත් එක්කම නැවැත්තුවා...දැන් හිතන්නේ පපුවෙන්...පපුව ඇතුලේ ඉන්න හදවතෙන්....හදවත ඇතුලේ ඉන්න මස් ඇට නැති මම නම දන්නේ නැති හිතෙන්...මාෂා සන් මේ රාහුලයාට ඔයා එක්ක බන්ධනයක් හදා ගන්න පොඩි ඉඩක් වත් දෙන්න කැමැති නැද්ද?

මාෂා සන් තනි අතකින් අත්පුඩි ගහන්න බැහැ තමා..මේ රාහුලයාව මගේ ගර්භාෂයට ගෙනත් ඇරලුවේ දෙවියන් වහන්සේ කියලා බොරු කියන්න මට බෑ...ඔයාට පේනවද මාෂා සන්..තාම බුදු කුටියේ අමිතාභ බුදු හාමුදුරුවෝ ලඟ හඳුන් කූරක් පත්තු වෙනවා...එතන හරි ශාන්තයි...හරියට මල්, ගෙඩි, කොළ මුකුත් නැති පීච් ගහක් වගේ..නැති වෙන්න මුකුත්ම නැති තැනක් එතන...එතන තතමි වුනත් සිනිඳුයි..මම එතන ඉඳන් හැමදාම පන්සිල් ගත්තා මාෂා සන්...ඒත් කියන තරම් ඒ සිල් රකින්න හරි අමාරුයි...මගේ අතින් හැමදාම සිල් කැඩුනත් මම හැමදාම පන්සිල් ගත්තා...සිල් කැඩුන නිසා වෙන්න ඇති රාහුලයෙක් ගර්භාෂෙට ආවේ..මාෂා සන්..ඔයාලා සිල් ගන්නේ නැද්ද...මට නම් පිස්සු...ඔයා පෝය දවසටත් රස්සාවට යන එකේ මොන සිල්ද නේද?මාෂා සන් ඔයා අහගෙන නේද ඉන්නේ?

ඔයා වැඩට ගියාම මට හරි පාළුයි මාෂා සන්...ඔයා ආස කෑම මට හරි අප්පිරියයි...ඔයා ආසම ඇල්ගීයි බිත්තරයි දාපු සුප් බොන්න..මම ඒ දේවල් හදන්න දන්නේ නැති නිසා සිටි මාකට් එකෙන් පැකට් පිටින් අරගෙන ඇවිත් ඔයා තුන් වේලටම ඒවා කනවා...ඒත් මාෂා සන් ලංකාවේ ඉඳන් ආපු මට දිය සෙවල කන්න පුළුවන්ද කියන්න..ඒකයි මම අපේ පුංචි ගෙදර අගුල් දාලා ටවුමට යන්න පුරුදු වුනේ..ටවුමට යන්න තිබ්බේ නම දන්නේ නැති ගස් පහු කරගෙන...මම ඒ හැම ගහකටම නමක් දුන්නා...අපි ඇවිදින්න යන දවසකට මම ඒ ගස් වල නම් කියලා දෙන්නම්කෝ..එයාලා ජපානේ හිටියාට මම දාපු සිංහල නම් වලට ආස වුනා...එයාලා සිංහල කෙළ්ළෙක් වෙනුවෙන් වුනත් මලක් දෙකක් බිමට වට්ටන්න තරම් ත්‍යාගශීලියි..ඒ යන අතර මඟ තමා සෝරා සන් හම්බ වුනේ...ඔයා වගේ නෙමෙයි සෝරා සන් උසයි...එයාට හිනා වෙච්ච පළල් කටක් තිබ්බා...කබොක් ගල් පාට ඇස් තිබ්බා...එයා මට පළවෙනි දවසේ සයොනාරා කිව්වා මතකයි...මම හිටියේ බය වෙලා වගේ...එයා මාත් එක්ක ටවුමේ කඩේකින් කෑම තෝරන්නත් ආවා...අපි පළවෙනි දවසෙම හොඳ යාලුවෝ වුනා මාෂා සන්..ඔයා රෑ වෙලා ගෙදර ඇවිත් නිදා ගන්න වැටෙන කොට මම ඔයා දිහා බලාගෙන හීල්ලුවා...ඔයා අහන්නේ නැද්ද මාෂා සන් ඒ ඇයි කියලා...

ඔයාට මහන්සි බව ඇත්ත මාෂා සන්..ඒත් ඔයාට යුතුකමක් තියෙනවා නේද මට අඩුම තරමේ හාද්දක් වත් දෙන්න..එකම එක හාද්දක්..බරපතල දෙයක් නෙමෙයි...ගෑනියෙක්ගේ ඇඟේ තියෙන හැම නහරයකම ලේ දුවන්නේ නෑ මාෂා සන්..ලේ දුවවන්න ඔනි..ඒක පුළුවන් පිරිමියෙක්ට විතරමයි...ඔයා පිරිමියෙක් වුනාට ඒ ලේ දුවවන වැඩේට දක්ෂ නෑ...ඉතින් මට හීල්ලෙනවා...ඔයා ගොරවන සද්දෙට ඒ සද්දේ අහෝසි වෙලා යනවා...ඒත් මම තරහ නෑ...හැම කෙනාම එක වගේ නෑ නෙහ්...බලන්න! මගේ ඇඟිලි වුනත් එක සමාන නෑ...ඒත් මට දුකයි මාෂා සන්...මමත් ආසයි හැම නහරෙකම ලේ දුවන කෙල්ලෙක් වෙන්න...
මම හැමදාම ටවුමට ගියා මාෂා සන්...ඔයා ඒක දන්නෙවත් නෑ නේද...ඔව් ඔයා දන්නේ නෑ...ඔයා මම කෑවද දන්නේ නෑ..නෑවද කියලා දැනගන්න මාව ඉඹලා බලලා නෑ...මම ඔයාගේ විසිත්ත කාමරේ ඔයා එනකන් බලන් ඉන්න පෝසිලේන් පිළිමයක් වගේ වෙලා...මට තරහයි මාෂා සන්...ඔයත් එක්ක ගොඩක් තරහයි..සාරා සන් හැමදාම සයොනාරා කිව්වා...පස්සෙන් පහු මටත් පුරුදු වුනා සයොනාරා කියන්න...අපි කෑම කාලා ඉවර වෙලා කබුකි නැටුම් බලන්නත් ගියා...එයා කලා ශිෂ්‍යයෙක්ලු...එයා මාව පැන්සලකින් ඇඳපු චිතරයක් පවා තෑගි කලා...එයා මට ජපන් සින්දු පුරුදු කලා..මම එයාට සිංහල සින්දු පුරුදු කලා...එයා මට ගේෂාවෝ ගැනත් කියලා දුන්නා මාෂා සන්..."ගේ" කියන්නේ කලාව..."ගේෂාවෝ" කියන්නේ වේසාවෝ නෙමෙයි...එයාලා කලාකාරියෝ...පුංචි කෙල්ල කාලේ ඉදන් කරන කැපවීමකින් පස්සේ පරිනත ගේශාවෙක් බිහිවෙනවා...ඒත් සමහරක් අය කියන්නේ ගේශාවෝ වෙන්නේ ජපානේ කරකියා ගන්න දෙයක් නැති වෙච්ච ගෑනුලු කියලා..මාෂා සන්, මමත් ආසයි ගේෂාවක් වෙන්න..ඒත් මම සිංහල නෙහ්..හමත් ඔයා තරම් කහ නැහැ...සෝරා සන් ජපානේ ගැන විස්තර තියෙන ඇවිදින අත්පොතක් වගේ...ඉතින් මම ජපානේ දකින්න පටන් ගත්තේ එයාගේ ඇස් වලින්...එයාට මම ඔයා ගැන කිව්වාම එයා මගෙන් අතින් ඇල්ලුවා...අතින් අල්ලපු පාර එයා මගේ මුළු හිතින්ම තදට ඇල්ලුවා වගේ දැනුනා මාෂා සන්...ඒක මහ අමුතුයි..පස්සේ එයා   අපේ ගෙදර ආවා...මම එයා ආවම දොරේ ලොක් එක ගැලෙව්වා...එයා රාස්සයෙක් නෙමෙයි නෙහ්...මම අමල් බිසෝත් නෙමෙයි නෙහ්...
එයා ලංකාවේ කෑම කන්න ආසයි...මම එයාට කෑම හදලා දුන්නා...අපි ඊට පස්සේ කෑම කන්න කඩවල් ගානේ ගියේ නෑ...අපි කෑම ජාති හදන්න බඩු අරගෙන ඇවිත් ගෙදර කෑම හැදුවා...කෑම කෑවට පස්සේ ගොඩක් වෙලාව ඉතිරි...ඊට පස්සේ එයාට අපේ නිදන කාමරේ බලන්න ඔනි වුනා...මම එයාට ඇවිත් ඔයාගේ කොට්ටෙන් හාන්සි වෙන්නත් ඉඩ දුන්නා...ඊට පස්සේ දවස් ගානක් රෑ වුනා..එළි වුනා...
එකම එක දවසක් එයා ආයිත් ආවේ නෑ මාෂා සන්...ඊට පස්සේ මම දන්නේ රාහුලෙක් ඉපදෙන්න පටන් අරගෙන කියා...ඒ වෙනකොට ඩිම්භයේ අයිතිකාරිව වැරදිකාරි වෙලා ශුක්‍රාණු අයිතිකාරයා වාෂ්ප වෙලා ගිහින් තිබ්බා...හරියට සර්ජිකල් ස්පිරිට් වගේ...


මාෂා සන්...මේ රාහුලයා ඔයාට වඩා උස වගේම ලස්සන වෙයි නේද? එයාටත් කබොක් ගල් පාට ඇස් දෙකක් තියෙයි...ඔයාට පුළුවන්ද එයාව මගේ ඇතුලෙන් එළියට ඇදලා දාන්න ඉඩ දෙන්න...මේ කඩදහි කොළ වලට අත්සන් කරන්න එපා මාෂා සන්...මගෙන් මේ රාහුලයාව උදුර ගන්න ඔයාගේ එක අත්සනකට පුළුවන්...මාෂා සන් ඒකට නේද විවාහයේ අධිකාරි බලය කියන්නේ..මාෂා සන්...ඔයා අහගෙනද ඉන්නේ...ඔයා කැමති නැද්ද තාත්තෙක් වෙන්න...මේ රාහුලයාට ඉපදෙන්න ඉඩ දෙන්න!!
මාෂා සන්..හෙමින් මගේ බඩ අත ගාලා බලන්න...බඩ කිව්වාට අපේ අම්මා කියන්නේ කුස යහන කියලා...මේ රාහුලයා සිද්ධාර්ත කෙනෙක් වුනොත් මාෂා සන්..ඔයාට පව් පිරෙයි නේද...මාෂා සන් අම්මා කෙනෙක්ගෙන් දරුවෙක් උදුරගෙන කෑළි කෑළි කරලා අයින් කරන්න ඔයාට ඉඩ දෙන්න බෑ මාෂා සන්...අනේ! මගේ දරුවා මට දෙන්න..පුතේ! මගේ රාහුලයෝ! පෙකිණි බන්ධනය හයියෙන් අල්ලගෙන ඉන්න...අම්මා ආදරෙයි ඔයාට..මාෂා සන් ඔයා අහගෙනද ඉන්නේ?

Comments

  1. කම්පිත කාරණාවක් අකම්පිතව ලිවිම....
    මෘදු විදියට දෘඪ සිද්ධියක් ගැන කීම...

    මේ දෙකටම ගැලපෙන ලිවීමක්. ඉතාම අගනෙයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි උපේක්ෂා අක්කේ ^_^

      Delete

Post a Comment

Popular Posts