එය එසේ සිදුවිය!!







මට ඉහළින් පවතින ආකාශ වළල්ලේ  ඡායාව ජල මතුපිට  තරමක් සසළ වෙමින් නිසසල වීමේ ව්‍යායාමයක නිරත වෙමින් තිබුණි...ළිං ගැට්ට මත වසංගතයක් මෙන් පැතිරුණ කුණ්ඩලාකාර ප්‍රාක්පත්‍රධාරී මීවණ වාමනයන් ළිං පතුළට වැටේ යැයි බියෙන් මෙන් තම පත්‍ර පමණක් ඉහළට ඔසවා කඳ සඟවා ගනු පෙණුනි..


මා සිටියේ ළිං පතුළකය...ඇතැමුන් පතුළක් නැතැයි සැක කළ ළිඳක පතුළක් දැක තිබුණේ මා පමණි..


මගේ ලෝකය ද්විමානයෙන් පිට නොයන තරම් සරල විය... "ලෝකය වෘත්තාකාරය" යැයි මම විස්වාස කළෙමි..ඇතැම් වැසි ඇද නොහැලෙන රාත්‍රීන් වලදී මම ගෙල නිකටින් ඔසවා අහස දෙස බැලුවෙමි...තරු පොකුරු හිතින් යා කර මීවන පත්‍ර රටාද , ගොම මඩ පාට ගෙම්බාගේ හැඩයද තිබේ දැයි විමසුවෙමි...


ඒ අතීතය මස්තිෂ්කගතව සැර සුවඳක් හා මුසුව තවමත් වරින් වර දෑස් වසාගත් ඇසිල්ලෙන් පැමිණ අතුරුදහන් වී යයි..


ඔහු පැමිණියේ ඉතාමත් සාමාන්‍ය ඉරිදා උදයකය...බාගවිට ඉරිදා පල්ලියේ යාතිකාව මඟහැර දෙවියන්ට පිටුපා ඔහු ඇවිද එන්නට ඇත.. එලෙස පැමිණිය ඔහු බිය නැතිව ළිං කටට එබුණ බව කිව යුතුය...



මා ඔහුව දුටුවේ අකාශ වෘත්තයේ එකතැන ක්‍රියා විරහිතව ගිය  ගගණගාමියෙක් ලෙසය මුල්වර!!ඔහු මා දුටුවේය..මම ද ඔහුව දුටුවෙමි!



ඔහු බොහෝ දේ පවසන ලද අතර මා ඔහුගේ එකම අසන්නා විය...ඔහු පැවසූ ලෙසට ලෝකය වළලක් මෙන් රවුම් නොවෙයි...ඔහුගේ ලෝකය දිය බුබුළක් මෙන් ගෝලාකාරය...මගේ ලෝකය දෙදරා යමින් පැවතුණි...ළිං පතුළෙන් ඉහළද මගේ මනෝ ලෝකය පැළ කලේ ඔහුයි...එක දිගට කතා කර වෙහෙස වූ විටෙක කතාව මඟ නතර කළ විට බිඳුන ලෝකයේ කැපෙනසුළු කටු කැබලි මම ඇහිඳ ගෙම්බාට ගිල්ලුවෙමි..ගෙම්බා සුපුරුදු ලෙස බක බක ගෑවේය..


දින හතකට පසුව ඔහු තම ස්විස් ඔරලෝසුව බැඳි ධනපති හස්තය දිගු කර ඉහළට පැමිණෙන ලෙස ඉල්ලමින් මා දෙස බලා සිටින්නට විය...මම ඔහුගේ දෑත අල්ලා ගත්තෙමි..මීවන පත්‍ර ගෙල වෙසමුණි විලාසයකට හරවා මා දෙස බලා සිටින වග දැනුනි...මා සිතුවේ සියල්ල අවසන් බවය.. නමුත් ළිං ගැට්ටෙන් ඉහළට පැමිණි පසුව සියල්ල ඇරඹුණි!


ඉර උදාවන්නේ නැගෙනහිරෙන් ද ඉර බැස යන්නේ බටහිරෙන්ද යන වග ඉගෙන ගන්නට මට සිදුවිය..ලෝකය අවසානයක් නැති වගත් අපි අප වටා නොනවත්වාම කැරකෙන බවත් ඉගැන්වූ ගුරුවරයා ඔහුය...



සමහරක් මධ්‍යම රාත්‍රීන් වල දී මට ගෙම්බා සිහිවී ඇඬුම් පැමිණි විට මගේ කඳුළු පිස දැමූවේ ඔහුය..ඒ ඔහු මාගේ කක්ෂයෙන් මිදී වෙනම කක්ෂයක භ්‍රමනය ඇරඹුමට පෙරය...



මා නැවත අඬන විට ඔහු පැමිණ කඳුළු පිස දැමීමක් සිදු නොවීය..කඳුළු ෆ්‍රීසර ගතව ඇස් අග මිදී ශිලාමය විය... තාල වර්ගයේ පොල් ගස් පැවසූ ලෙස මේ සියලු සිඳුවීම් නොසැළකිය හැකිතරම් සාමාන්‍යය...මම ළිං පතුළෙන් ගොඩට විත් කක්ෂය අහිමි කරගත් ප්‍රථම උපග්‍රහයා නොවෙන බව පොල් ගස් පැවසූ විට මම කරබා ගතිමි..



ඉතිහාසය පිළී ගඳය...වත්මන තුළ මම වහා කාගේ හෝ උපග්‍රහයෙක්ව කක්ෂ ගත විය යුතුය..නැතහොත් මටම කියා කක්ෂයක් සාදාගත යුතුය..

***********************************


Comments

  1. ලස්සනයි මල්ලි...අපූරු තේරුමක් ඇති කතන්දරයක්...

    ReplyDelete

Post a Comment

Popular Posts